කාබනික නිෂ්පාදන සහතික කිරීම

කාබනික නිෂ්පාදන සහතික කිරීම

අහිතකර බලපෑම් සහිත කෘෂිකාර්මික යෙදවුම් භාවිතය වෙනුවට ස්වභාවික, ජීව විද්‍යාත්මක සහ පුනර්ජනනීය සම්පත් මත රඳා පවතින තිරසාර කෘෂිකාර්මික පද්ධතියක් ලෙස කාබනික කෘෂිකර්මාන්තය පුළුල් පිළිගැනීමක් ලබා ඇත.

සාම්ප්‍රදායික කෘෂිකාර්මික නිෂ්පාදන ක්‍රමවේද හා සැසදීමේදී, කාබනික කෘෂිකර්මාන්තය ස්වභාවික සම්පත් හා බලශක්තිය වගකීමෙන් භාවිතා කිරීම ප්‍රවර්ධනය කරන අතර පස, මිනිසුන්, සතුන් ඇතුළු සමස්ථ පරිසර පද්ධතියේම යහපැවැත්ම සහතික කරයි. ඒ අනුව, කාබනික කෘෂිකාර්මික මූලධර්ම අනුගමනය කරමින් සිදුකරන නිෂ්පාදන සඳහා ඉහළ ගෝලීය ඉල්ලුමක් පවතී.

කාබනික නිෂ්පාදනයේදී සහ සැකසීමේදී තෙවන පාර්ශ්වීය සහතිකකරණය අනිවාර්ය අංගයක් වන අතර එය 'කාබනික' ලෙස ලේබල් කර ඇති නිෂ්පාදනවල කාබනික අඛණ්ඩතාව පාරිභෝගිකයින්ට තහවුරු කරයි. එමෙන්ම කාබනික නිෂ්පාදකයින්, සැකසුම්කරුවන් සහ සැපයුම් දාමයේ නිරතවන සියල්ලන් සඳහා, දේශීය සහ ජාත්‍යන්තර වෙළඳපල වෙත පිවිසීමේදී සහතිකකරණය ප්‍රධාන අවශ්‍යතාවයක් ලෙස සැලකිය හැක.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් ක්‍රියාත්මක කාබනික නිෂ්පාදන සහතික කිරීමේ ක්‍රියාවලිය, SLS 1324: 2018 කාබනික නිෂ්පාදන සහ සැකසීම සඳහා වන ප්‍රමිතිය මත පදනම් වේ. මෙම ප්‍රමිතිය ජාත්‍යන්තර කාබනික ප්‍රමිතීන්ට සමාන්තරව සකස් කර ඇති අතර එමඟින් කාබනික කෘෂිකර්මාන්තය සඳහා පරිවර්තනය, නිෂ්පාදනය, හැසිරවීම, අලෙවිකරණය සහ ලේබල් කිරීම සඳහා වන අවශ්‍යතා සඳහා ඒකාකාර ප්‍රවේශයක් සපයයි.

සහතිකකරණ ක්‍රියාවලිය

1. අයදුම්පත් ඉදිරිපත් කිරීම

නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය [FM-OPC-01], පූර්ව සහතික ප්‍රශ්නාවලිය [FM-OPC-02] ඇතුළු අනෙකුත් අතිරේක ලියකියවිලි, අධ්‍යක්ෂ (භාණ්ඩ සහතිකකරණ), ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, අංක 17, වික්ටෝරියා පෙදෙස, ඇල්විටිගල මාවත, කොළඹ 08 යන ලිපිනයට අයදුම් පත්‍ර සකස් කිරීමේ ගාස්තු සමග යොමු කළ යුතුය.

2. පූර්ව විගණනය

අයදුම්පත්‍රය සහ අනෙකුත් අදාළ ලියකියවිලි සමාලෝචනය කිරීමෙන් අනතුරුව, අයදුම්කරු සමඟ අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ කාල රාමුවක් තුළ ප්‍රමිති ආයතනය මගින් අනුක්ත කරන ලද විගණන කණ්ඩායමක් විසින් පූර්ව ස්ථානීය විගණනයක් සිදු කරනු ලැබේ.

මෙම විගණනය අතරතුරදී , අයදුම්කරු විසින් සපයන ලද තොරතුරු, අදාල නිෂ්පාදන, නිෂ්පාදන පරිශ්‍ර, සහ නිෂ්පාදන ක්‍රියාවලි පිළිබඳ තහවුරු කරනු ලැබේ. තවද පරිවර්තන කාල සීමාව නැවත සලකා බැලීමට අවශ්‍ය අවස්ථාවලදී ඒ සම්බන්ධව ස්ථානීය තත්ත්වයන් ඇගයීමකට ලක් කෙරේ. සහතිකකරණය සඳහා තවදුරටත් අඩුපාඩු ඇත්නම් ඒ පිළිබඳ වාර්තාවක් අයදුම්කරු වෙත ලබා දෙනු ලැබේ.

3. අවසාන විගණනය

පූර්ව විගණනයේදි හඳුනාගත් අඩුපාඩු අයදුම්කරු විසින් නිවැරදි කර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත ලිඛිතව දැනුම් දීමෙන් අනතුරුව අවසන් විගණනය සිදු කෙරේ. මේ සඳහා නියමිත තාක්ෂණික ප්‍රවීණතාවය සහිත දක්ෂ විගණන කණ්ඩායමක් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් අනුයුක්ත කරයි. මෙම විගණනයේදී කාබනික නිෂ්පාදන සහ සැකසුම් පද්ධතිය, ප්‍රමිතිතගත අවශ්‍යතා සහ කාබනික නිෂ්පාදන සහතිකකරණ ක්‍රමයේ අවශ්‍යතාවයකන්ට අනුකූල බවට තහවුරු කිරීම සිදු කෙරේ. අනුකූල නොවන අවස්ථා ඇත්නම් ඒ පිළිබඳ වාර්තාවක් අයදුම්කරුට ලබා දෙනු ලැබේ.

4. නියැදි විශ්ලේෂණය

කාබනික නිෂ්පාදන තහනම් ද්‍රව්‍ය මගින් දූහනය වී නොමැති බවට තහවුරු කළ යුතු අවස්ථාවලදී විගණකවරුන් විසින් නිෂ්පාදන, යෙදවුම්, පස, ජලය,පෙර අස්වනු, පසු අස්වනු නියැදි ලබාගෙන ඒවා පරික්ෂා කිරීම සිදු කෙරේ.

5. සහතිකය ලබා දීම

අයදුම්කරු විසින් සියලු අවශ්‍යතා සම්පූර්ණ කර ඇත්නම් අවසාන විගණන කණ්ඩායමේ නිර්දේශය අනුව සහතික පිරිනැමේ.

6. සහතිකයේ වලංගුභාවය

සහතිකය නිකුත් කළ දින සිට මාස 12 ක් දක්වා සහතිකය වලංගුවේ. මෙම වලංගු කාලය තුළ සහතිකලාභියා විසින් අඛණ්ඩව සහතික කිරීමේ අවශ්‍යතාවලට නුකූලව ක්‍රියා කළ යුතුය.

7. ජාතික කාබනික සහතිකකරණ ලාංඡනය

සහතිකය ලබා ගැනීමෙන් අනතුරුව සහතිකලත් නිෂ්පාදන සඳහා ජාතික කාබනික පාලන ඒකකය (National Organic Control Unit) මගින් නිකුත් කරනු ලබන ජාතික කාබනික සහතිකකරණ ලාංඡනය (National Organic Certification Mark) නියමිත මාර්ගෝපදේශයන්ට අනුකූලව භාවිතා කිරීම සඳහා අවසර ලැබේ.

8. පසු අධීක්ෂණය

සහතිකලාභියා විසින් ‍ප්‍රමිතිගත අවශ්‍යතා අඛණ්ඩව පවත්වාගෙන යන්නේද පිළිබද තහවුරු කිරීම සඳහා වාර්ෂික විගණන සිදුකරන අතර මෙම විගණන වල ප්‍රතිඵල මත පදනම්ව සහතිකය වලංගු කාලය දීර්ඝ කිරීම සිදු කෙරේ.

9. නැවත සහතික කිරීම

සෑම වසර තුනකට වරක්ම සහතිකය නැවත අලුත් කිරීම සඳහා විගණනයක් සිදු කරන අතර මේ සඳහා සහතිකලාභියා විසින් යාවත්කාලීන තොරතුරු ඇතුළත් නව අයදුම්පතක් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ භාණ්ඩ සහතිකකරණ අංශය වෙත ඉදිරිපත් කළ යුතුය.

10. සහතිකකරණ ප්‍රතිලාභ

  • කාබනික නිෂ්පාදන සම්බන්ධ ජාතික නීතිවලට අනුකූල වීම.
  • කාබනික නිෂ්පාදනවල කාබනික අඛණ්ඩතාව පාරිභෝගිකයින්ට තහවුරු කිරීම.
  • දේශීය සහ ජාත්‍යන්තර වෙළඳපල වෙත ප්‍රවේශ වීම සහ වෙළඳපල තරගකාරීත්වයට මුහුණ දීමට හැකි වීම.
  • සහතික කළ කාබනික නිෂ්පාදන සඳහා වඩා හොඳ මිලක් ලබා ගැනීමට හැකි වීම.
  • පාංශු සෞඛ්‍යය සහ පරිසර පද්ධතිය ආරක්ෂා කරන අතර තිරසාර කෘෂිකර්මාන්තයේ කොටස්කරුවෙකු වීමට හැකිවීම

තාක්ෂණික නිර්දේශ

බෝතල් කළ ජලය ලියාපදිංචි කිරීමේ යෝජනා ක්‍රමය

2005-11-21 රජයේ ගැසට් අංක 1420/4 හි ප්‍රකාශයට පත් කරන ලද 2005 ආහාර (බෝතල් කළ හෝ ඇසුරුම් කළ ජලය) රෙගුලාසි යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් අයදුම්කරුවන් තාක්ෂණික ඇගයීම සහ ලියාපදිංචිය ලබා දීමට නිර්දේශ කිරීම.

Go Back