ප්‍රමිති සම්පාදනය කිරීම

ප්‍රමිති සම්පාදනය කිරීම

ප්‍රමිතිකරණ අංශවල (ඉංජිනේරු සහ විද්‍යාත්මක) ප්‍රධාන ක්‍රියාකාරකම වන්නේ ජාතික ආර්ථිකයේ සංවර්ධනය සඳහා අවශ්‍ය ජාතික ප්‍රමිති සම්පාදනය කිරීමයි. මෙම ප්‍රමිතීන් පාරිභෝගිකයින්, නිෂ්පාදකයින්, පරිශීලකයින්, රාජ්‍ය ආයතන ස්වාධීන තාක්ෂණික සංවිධාන නියෝජනය කරන සහ උනන්දුවක් දක්වන සියලුම පාර්ශ්වයන්ගේ ස්වේච්ඡා මැදිහත්වීම සහිත සාමූහික ප්‍රයත්නයක් දරන්නාවූ කමිටු ක්‍රියාවලියක් සහ උපදේශන ක්‍රියාවලියක් හරහා සංවර්ධනය කෙරේ.

මෙම ප්‍රමිතිකරණ ක්‍රියාකාරකම් වලදී ජාතික ආර්ථිකයට උපරිම ප්‍රතිලාභ ලබා ගැනීමට තිබෙන්නාවූ හොඳම මාර්ගය වන්නේ හැකි සියලුම විශේෂඥ දැනුම එක්රැස් කර එමගින් ආයතනයට උපදෙස් සහ මගපෙන්වීම ලබාගැනීම වන අතර ඒ සඳහා ආයතනය විසින් තාක්ෂණික කමිටු පත් කරයි

ප්‍රමිති මගින් තාක්ෂණය, වෙළඳාම සහ පරිපාලනය භාවිතා වීමට මං සලසන්නාවූ සම්බන්ධීකරණ විසඳුම් ලබා දෙන අතර එනයින් සාක්ෂාත් කර ගැනීමට අදහස් කරන්නේ:

  • භාණ්ඩ හා සේවා හුවමාරු කිරීමේදී මිනිස් ශ්‍රමය, ද්‍රව්‍ය, බලශක්ති සහ අනෙකුත් සම්පත් යෙදවීම් අවම කිරීම මගින් සමස්ත කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම;
  • භාණ්ඩ හා සේවාවල ප්‍රමාණවත් සහ ස්ථාවර වූ ගුණාත්මක භාවය තුළින් පාරිභෝගිකයන්ගේ උනන්දුව ආරක්ෂා කිරීම;
  • ජීවිත සුරක්‍ෂාව සහ රැකවරණය; සහ
  • උනන්දුවක් දක්වන සියලුම පාර්ශ්වයන් අතර අදහස් ප්‍රකාශ කිරීමේ සහ සන්නිවේදනයේ මාධ්‍යයක් සැපයීම වේ.

මෙම ප්‍රමිතීන් ද්‍රව්‍ය හෝ නිෂ්පාදන සඳහා පිරිවිතර, ඇතැම් කර්මාන්ත ක්ෂේත්‍ර සඳහා නිර්දේශිත පිළිවෙත් දැක්වෙන භාවිත සංග්‍රහයන්, පරීක්ෂා ක්‍රම, පද වල අර්ථ දැක්වීම් හෝ වෙනත් ආකාරයකට දැක්වූ ප්‍රමිතිකරණයක් විය හැකිය.

ජාතික ප්‍රමිති සම්පාදනය කිරීමේ කර්තව්‍යයයේ සමස්ත ප්‍රගමනය සඳහා වගකීම දරන්නේ ප්‍රමිතිකරණ අංශ දෙකක් මගිනි. ජාතික ප්‍රමිති සම්පාදනයට අදාළ කාර්යයන් පුළුල් අර්ථයෙන් ගත්කල පහත පරිදි වේ:

  • නව ජාතික ප්‍රමිති සම්පාදනය කිරීම;
  • ජ්‍යාත්‍යන්තර ලෙස හෝ කලාපීය ලෙස ප්‍රකාශයට පත්කළ ප්‍රමිති (ISO, IEC, ASTM, EN,…)ශ්‍රී ලංකා ප්‍රමිති ලෙස සම්මත කිරීම;
  • පවතින ප්‍රමිති සමාලෝචනය කිරීම - සමාලෝචන ප්‍රතිඵල මත පදනම්ව;
    • යලි සම්මත කිරීම;
    • ප්‍රතිශෝදනය කිරීම;
    • සුළු වෙනස්කම් ඇති විට සංශෝධනය කිරීම (දෝෂ, ශුද්ධිපත්‍රය);
  • අවශ්‍යතාවයක් ඇති වූ විට ප්‍රමිති ඉවත් කර ගැනීම.

ප්‍රමිති සම්පාදනය කිරීමෙහිලා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රතිපත්තිය වන්නේ ජාත්‍යන්තර ප්‍රමිතීන් හා ප්‍රායෝගික භාවිතයන්ට අනුකූල වීමයි. මේ සඳහා, අදාළ ඕනෑම තැනකදී ජාත්‍යන්තර ප්‍රමිති ශ්‍රී ලංකා ප්‍රමිති ලෙස සම්මත කරගනු ලැබේ.

ප්‍රමිති සැකසීමේ ව්‍යාපෘති තෝරාගැනීමේදී අභ්‍යන්තර හා බාහිර වෙළෙඳාම සඳහා පහසුකම් සැලසෙන පරිදි මෙන්ම පාරිභෝගිකයාගේ අහිමතය සුරක්ෂිත කිරීමේ ප්‍රධාන අරමුණ ඇතිව ශ්‍රී ලංකා නිෂ්පාදනවල ජාත්‍යන්තර තරගකාරිත්වය ඉහළ නැංවීමට ඉවහල් වන ප්‍රමිතීන් සඳහා මූලිකත්වය දෙනු ලබයි.

නිෂ්පාදන, භාණ්ඩ, ද්‍රව්‍ය, ක්‍රියාවලි සහ පිළිවෙත් සම්බන්ධ ප්‍රමිති දැනට 4000කට වඩා ප්‍රකාශයට පත්කර ඇත. නවීන ද්‍රව්‍ය, ක්‍රියාවලි සහ තාක්ෂණයන්හි වර්ධනයන් පිලිබඳ සැලකිල්ලට ගැනෙන පරිදි බොහෝ ප්‍රමිතින් සංශෝධනය ද කර ඇත. එවැනි සංශෝධනයන් සංශෝධනයවූ වර්ෂය සමඟ දක්වනු ලැබේ. අණ පනත් සහ රෙගුලාසි මගින් අනිවාර්ය කර ඇත්නම් මිස ශ්‍රී ලංකා ප්‍රමිතීන් සම්පාදනය කරනුයේ අදාළ උනන්දුව දක්වන පාර්ශ්වයන් විසින් ස්වේච්ඡාවෙන් භාවිත කර ගැනීම සඳහා වන්නේය.

නව ජාතික ප්‍රමිති සැකසීම

ප්‍රමිති සකස් කිරීමේ අදියර සහ ක්‍රියාකාරකම් (SFSA.PDF බාගන්න)

Go Back